ශ්‍රී ලංකාවේ පැවති ආසියානු විකාශන සංගමයේ (ABU) සමුළුවක් සඳහා මහාරාජා සමූහයට අයත් සිරස මාධ්‍ය ජාලය නියෝජනය කරන MTV ආයතනය වෙත රුපියල් මිලියන 104ක මුදලක් ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට දැඩි කතාබහක් මතුව ඇත. පාඩු ලබන රජයේ මාධ්‍ය ආයතන තිබියදී මෙලෙස පෞද්ගලික ආයතනයකට මුදල් දීම දේශපාලනික අල්ලසක් බව පවසමින් 'ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්ගේ සංගමය' විසින් ඊයේ (03) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් කර තිබේ.

භාණ්ඩාගාරයේ මුදල් වැය කළේ නෑ

මේ සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කරුණු පැහැදිලි කළ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේ මෙම මුදල් මහා භාණ්ඩාගාරයෙන් හෝ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් වැය කළ එකක් නොවන බවයි.

මෙම මුදල ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ අරමුදලින් ලබා දී ඇති බවත්, එම අරමුදලට මුදල් ලැබෙන්නේ මෙරටට එන සංචාරකයින්ගෙන් අය කරන ඩොලර් 05ක මුදලින් සහ හෝටල් ආදායමෙන් සියයට එකක මුදලින් බවත් ඔහු පෙන්වා දුන්නේය. රජයේ බදු මුදල් යොදවන්නේ නැති බැවින් සාමාන්‍ය ප්‍රසම්පාදන ක්‍රියාවලිය මීට අදාළ නොවන බව ද ඇමතිවරයා කියා සිටියේය.

සත්කාරකත්වය තේරුවේ රජය නොවේ

රටවල් 66ක ආයතන 225ක් නියෝජනය වන මෙම සංගමයේ මෙවර සමුළුවට 350ක පමණ පිරිසක් පැමිණි බව වාර්තා වේ. එහි සත්කාරකත්වය සඳහා MTV ආයතනය තෝරා ගනු ලැබුවේ ශ්‍රී ලංකා රජයෙන් නොව ABU විධායක මණ්ඩලයේ නිර්දේශයෙන් බව අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම යෝජනාව මුලින් ප්‍රතික්ෂේප වී පසුව අදෘශ්‍යමාන බලවේගයකින් කැබිනට් මණ්ඩලයට ආ බවට කෙරෙන චෝදනා ද ඔහු ප්‍රතික්ෂේප කළ අතර, මුදලේ ප්‍රමාණය අනුව එය කැබිනට් මණ්ඩලයට දැනුම් දුන් බව පැවසීය.

මූලාශ්‍රය: Gossip Lanka Newsමුල් පුවත කියවන්න