අද (03) අලුයම නුවරඑළිය, මීපිලිමාන ප්‍රදේශයෙන් මෙම ඛේදනීය පුවත වාර්තා වේ. මීට දින තුනකට පමණ පෙර එම ප්‍රදේශයට පැමිණ ඇති මොවුන්, මීපිලිමාන මිහිඳුපුර ප්‍රදේශයේ අලුතින් සංචාරක හෝටලයක් හෙවත් නිකේතනයක් ඉදිකරමින් සිටි අය බව පැවසීය.
හෝටලයේ ඉදිකිරීම් කටයුතු නිමාවන තුරු ඔවුන් ඊට නුදුරින් පිහිටි නිවසක් කුලියට ගෙන තාවකාලිකව නැවතී සිටි බව නුවරඑළිය කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරි 01 චන්දන බස්නායක මහතා ප්‍රකාශ කළේය. පවතින අධික ශීතලට විසඳුමක් ලෙස ඔවුන් කාමරය තුළ බාබක්‍යු උදුනක් දල්වාගෙන නිදාගෙන ඇති අතර, එයින් නිකුත් වූ විෂ වායුව ආඝ්‍රහණය වීමෙන් මෙම මරණ සිදුව ඇති බව සහකාර පොලිස් අධිකාරිවරයා තහවුරු කළේය.
ඥාතීන් දුරකථනයෙන් ඇමතුවත් පිළිතුරක් නෑ
අද අලුයම් කාලයේදී ඥාතීන් විසින් මෙම යුවළගේ දුරකථන වෙත අවස්ථා කිහිපයකදීම ඇමතුම් ලබාගෙන ඇති නමුත්, කිසිදු ප්‍රතිචාරයක් ලැබී නැත. ඒ හේතුවෙන් ඔවුන් ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා දැනුවත් කර තිබේ. පසුව ග්‍රාම නිලධාරිවරයා එම නිවසට ගොස් පරීක්ෂා කර බැලීමේදී යුවළ මියගොස් සිටිනු දැක වහාම නානුඔය පොලිසිය දැනුවත් කර ඇත.
මියගිය අය ගැන ලැබුණු තොරතුරු
මියගිය සැමියා වෘත්තියෙන් නෞකා කපිතාන්වරයෙකු බව තහවුරු වී ඇති අතර ඔහු කටුගස්තොට, මතුවල පදිංචි මංජුල රණතුංග දොඩම්තැන්න නැමැති 56 හැවිරිදි අයෙකි. මියගිය බිරිඳ බැලුම්ගහතැන්න දොඩංඕවිට ප්‍රදේශයේ පදිංචි වනිගසිංහ මුදියන්සේලාගේ දිලූකා කුමාරි වනිගසිංහ නැමැති 49 හැවිරිදි කාන්තාව බව වාර්තා වේ.
කෙසේ වෙතත් මොවුන් අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි 52 හැවිරිදි සහ 46 හැවිරිදි යුවළක් බවටත්, ඔවුන් විවාහවී සිටි බවට තොරතුරු නැති බවටත් නානුඔය පොලිසියෙන් ලැබුණු අනෙක් වාර්තාවල දැක්වෙන බවද සඳහන් වේ. සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් විජය වික්‍රම මහතා ස්ථානීය පරීක්ෂණයක් පැවැත්වීය.
ඊළඟට කුමක්ද?
පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුරු නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙස වැඩබලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.






