QS Quacquarelli Symonds ආයතනය මගින් නිකුත් කරන ලද 2027 ආසියානු විශ්වවිද්‍යාල ශ්‍රේණිගත කිරීම්වලට අනුව මෙරට ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල කිහිපයක් පසුගිය වසර හතර තුළ වාර්තා වූ අවම මට්ටම් දක්වා පසුබැස ඇත.

මෙහිදී කොළඹ විශ්වවිද්‍යාලය ස්ථාන 46කින් පහළට වැටී 364 වැනි ස්ථානයට පත්ව ඇති අතර පේරාදෙණිය සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල පිළිවෙළින් 389 සහ 398 යන ස්ථාන දක්වා පසුබැස තිබේ.

සමස්තයක් ලෙස ගත් කල ශ්‍රේණිගත වූ ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාල 12න් 8කම පසුබැසීමක් සටහන් වී ඇති අතර තවත් විශ්වවිද්‍යාල දෙකක් කිසිදු වෙනසකින් තොරව ස්ථාවරව පවතී.

පසුබැසීමට හේතු

ආසියානු කලාපයෙන් නවක විශ්වවිද්‍යාල 200කට ආසන්න සංඛ්‍යාවක් ශ්‍රේණිගත කිරීම්වලට එක්වීම මෙයට එක් හේතුවක් බව QS ආයතනය පෙන්වා දෙයි.

සේවා යෝජක කීර්තිනාමය (Employer Reputation) පහළ යාම කොළඹ සහ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලවල ස්ථාන පහළ යාමට සෘජුවම බලපා ඇත. මෙම දර්ශකයට සියයට 20ක ඉහළ අගයක් හිමිවේ.

මීට අමතරව ආචාර්ය උපාධිධාරී ආචාර්ය මණ්ඩල අනුපාතය සහ ශිෂ්‍ය-ආචාර්ය අනුපාතයන්හි සිදුවූ වෙනස්කම් ද මෙවර ප්‍රතිඵල කෙරෙහි බලපා ඇති බව වාර්තා වේ.

ඉදිරියට පැමිණි විශ්වවිද්‍යාල

මොරටුව විශ්වවිද්‍යාලය ස්ථාන 37කින් ඉහළට යමින් 517 වැනි ස්ථානය ලබාගෙන ඇති අතර කැලණිය විශ්වවිද්‍යාලය ස්ථාන 44ක දියුණුවක් සමඟ 687 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

කොළඹ විශ්වවිද්‍යාලය පස්වැනි වරටත් මෙරට ඉහළම ශ්‍රේණිගත කිරීම හිමිකරගත් විශ්වවිද්‍යාලය ලෙස සිය පෙරමුණ රැකගෙන සිටියි.

එමෙන්ම 192 වැනි ස්ථානය ලබාගනිමින් ආසියානු කලාපීය සේවායෝජක කීර්තිනාමය අතින් හොඳම 200 අතරට එක්වූ එකම ශ්‍රී ලාංකේය විශ්වවිද්‍යාලය බවටද කොළඹ විශ්වවිද්‍යාලය පත්ව ඇත.

මූලාශ්‍රය: Gossip Lanka Newsමුල් පුවත කියවන්න